Tuesday, August 28, 2012

ඔහු සහ හිස් බව​...

ඊළඟ පේෂන්ට් එන්න​...සුපුරුදු හඬින් මිස් කියනවා ඇහුනා.

බිමට හැරවුණු හිසින් යුතුව මම කොළ පුරවමින් හිටියා.
ලෙඩා පරක්කු නිසා හැරී බැලූ මට "වීල් චෙයා එක ගන්න" කියලා මිස් කියනවා ඇහුනා.
ඒ අතර මිස් ඇවිත් ලඟ තිබුණු පුටුව අයින් කළා.මම බලාපොරොත්තු වුනේ වීල් චෙයා එකෙන් එන​ වයසක ආච්චි කෙනෙක් හෝ සීයා කෙනෙක්ව​.
ඒත් ටිකකින් මට ඇහුනා "නෑ වීල් චෙයා ඕනෙ නෑ" කියලා ගැහැණු කෙනෙක් කියනවා.ඒත් එක්කම කාමරයට ඇතුළු වුණේ අවුරුදු විස්සක විතර තරුණයෙක්.
බොහොම අස්වාභාවික විධියට බොහොම අමාරුවෙන් ඇවිදිමින්.
එක් පැත්තකින් ඔහුගේ අම්මා කියලා පෙනෙන මහළු බවේ මුල් ලකුණු පෙන්වන කාන්තාවක් පැමිණියා.
ඔහුට ඉඳ ගන්න උදව් වෙන්න අත ඇල්ලුවාම ඒ අත දර කෝටුවක් වගේ දරදඬු බව මට දැනුනා.
මෙම තත්වය ලෙස sapastic hemiparesis ලෙස​ හඳුන්වනවා.
පුටුවේ වාඩිවූ තරුණයා හිස් බැල්මෙන් මා දෙස බලා සිටියා.රූමත් බවේ ලකුණු පෙන්වූ ඔහුගේ මුහුනේ සතුටක්,දුකක් හෝ බලාපොරොත්තුවක ලකුණක් ඇත්දැයි මම උනන්දුවෙන් බැලුවත් මට පෙනුනේ හිස් බව විතරයි.
ඒ අතර පැරණි වාර්තා මට දුන් ඔහුගේ මව විස්තරය කියා ගෙන ගියා.
දැන් බොහෝ කාලයක සිට මැඩම් ගාවට​ එන බවත් වයස මාස පහේදී එන්කෙපලයිටිස්(Encephalitis) හැදුණු බවත් ඒ කතාවේ තිබුණා.
වාර්තා පෙරලා බැලූ මම Epilepsy වචනයත් ඒ අතර දුටුවා.
"තාම පුතාට ෆිට් එක හැදෙනවද​?"
"නෑ නෑ,අන්තිමට හැදුනේ අවුරුදු 12දි."
ඒ වාක්‍යයේ යම්කිසි ආඩම් බරයක් ගැබ් වී ඇති බව මට හිතුණා.

අලුත් තොරතුරු අසමින් වාර්තාව ලියන ගමන්  ආපහු මම තරුණයා දිහා බැලුවා.තාමත් අර හිස් බැල්ම ඒ විදියමයි.
දරදඬුවී තිබූ ඔහුගේ අත පය හරියට පාලනය කර ගැනීමටවත් ඔහුට නොහැකි බව මට තේරුණා.


යම් යම් දේ නැති වීම ගැන මෙච්චර දුක්වෙන අපි ගැන හිතන කොට තමන්ට තමන්වම නැති වුණු ඒ තරුණයා මොනවා හිතනවා ඇත්ද කියලා මට හිතුණා.

Encephalitis කියන්නේ මොළයට විෂ බීජයක්,හුඟක් වෙලාවට වෛරසයක් යෑම නිසා ඇතිවන මොළේ ප්‍රදාහ තත්වයක්.මේ වෛරස අපි අතරම වගේම අපේ ඇඟෙත්,අපේ නාස් කුහර තුලත් තියෙන්වා.ඒත් අපේ මොලයට එය නොගොස් අර ලෙඩාටම ඒක ගියේ ඇයි කියලා ඇහුවොත් ඉතින් කර්මය කියනවා ඇරෙන්න බොහෝ විට වෙන උත්තරයක් තියෙයි කියලා මම හිතන්නේ නෑ.
මේකෙ එක වර්ගයකට ඇරෙන්න අනික් ඒවා හැදුනම එච්චර සාර්ථක ප්‍රතිකාරයකුත් තාම නෑ.ඒ වගේම පස්සෙ ඇතිවන මේ වගේ සංකූලතාත් බොහොමයි.
තමන් ගේ තරුණ පුතාලගේ දස්කම් ගැන ආඩම්බර වන අම්මලා අතර තමන් ගේ පුතාට wheel chair එකක් නැතුව කාමරයට එන්න පුලුවන් වීමත් අවුරුදු ගානකින් පුතාට fit එක නොහැදීමත් අර අම්මටත් ලොකු ආඩම්බරයක්.

මගේ වැඩ කටයුතු අවසන් වී ඔවුන් පිටවී යන දෙස මම බැලුවා.
"හා දැන් යමු පුතා" කියලා අම්මා කිව්වා.
තරුණයා නැගීටීමට දැඩි උත්සාහයක් දරණු මට පෙනුනා.ඒත් ඔහුට පුටුවෙන් ඉහළට වත් නැගිටීමට පුළුවන් උනේ නෑ.
"මෙතන සීතලට, ඒකයි"
මව යම්තම් සෙමින් කියනු මට ඇසුණා.ඒ බිඳුණු ආත්මාභිමානය හදා ගැනීමට දෝ කියලා මට මොහොතකට හිතුනා.
දොර ඇරගෙන මිස් එළියට ගියේ වීල් චෙයා එක ගේන්න කියලයි මම හිතුවේ.
ඒත් අරුණු දොරින් ඇතුළට ආවේ ඔහුගේ පියා.මහළු බවේ එලි පත්තේ සිටි ඔහු තම තරුණ පුතාව වත්තම් කරගෙන පිටවී ගියා.
අර මුහුනේ නම් තිබුණේ පරණ හිස් බව විතරයි.

මැඩම් ආ විට ඔවුන් නැවතත් කාමරයට ඒවි.
මිස් ඊළඟ ලෙඩාට කතා කරා.මම ඊළඟ ලෙඩාගේ කොළේ අතට අරන් එහි දිනය ලකුණු කළා.


2 comments:

  1. ඒ දෙමාපියන් නැති දාක ඒ තරුණයාගේ ඉරණම මොකක් වෙයිද....

    ReplyDelete
  2. "මෙතන සීතලට, ඒකයි" :(

    දිගටම ලියන්න...

    ReplyDelete